Microsoft මගින් සංවිධානය කරනු ලබන 2023 Imagine Cup Southeast Asia New Markets (SEANM) කලාපීය තරගාවලියේ සමාරම්භය පසුගියදා පැවති මාර්ගගත උත්සවයකදී නිල වශයෙන් නිවේදනය කරන ලදි. මෙහිදී අදහස් දැක්වූ Microsoft ජ්‍යෙෂ්ඨ ප්‍රාදේශීය නියෝජිතයෝ, තම නවීනතම තාක්ෂණික නවෝත්පාදන මෙම තරගයට ඉදිරිපත් කරන මෙන් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ආරාධනා කළහ.
ලොව පුරා ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් විවෘත ප්‍රමුඛතම ගෝලීය තාක්ෂණ තරගාවලියක් ලෙස සැලකෙන Microsoft Imagine Cup මෙවර පැවැත්වෙනුයේ 21 වැනි වරට ය. මෙම තරගාවලියේදී තරගකරුවන්ට ව්‍යවසායකත්ව ආකල්ප මුල්කර ගනිමින්, අද දවසේ මෙරට සහ ජාත්‍යන්තර තලයේ පවතින ප්‍රධානතම ගැටලු සඳහා තාක්ෂණික විසඳුම් නිර්මාණය කිරීමට අවස්ථාව හිමි වේ. එමෙන්ම මෙහිදී ඔවුන්ට නව කුසලතා වර්ධනය කරගැනීමටත්, සමාන ආකල්ප ඇති පුද්ගලයන් සමග සම්බන්ධතා ගොඩනංවා ගැනීමටත්, සුවිශේෂී පුහුණු අවස්ථා හිමිකරගැනීමටත්, උපදෙස් හා මගපෙන්වීම් ලබාගැනීමටත් අවස්ථාව ලැබෙන අතර, ඒ සියල්ල ඔස්සේ ලෝකයේ සැබෑ වෙනසක් සිදුකිරීමේ හැකියාව සහිත නවෝත්පාදන බිහි කිරීම තුළින් වටිනා ත්‍යාග දිනාගැනීමටද අවස්ථාව හිමිවේ.
මේ සම්බන්ධයෙන් Microsoft SEANM හි සාමාන්‍යාධිකාරී Sook Hoon Cheah මෙසේ අදහස් පළකළේ ය. “Imagine Cup යනු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලොව ප්‍රධානතම සමාජ, පාරිසරික සහ සෞඛ්‍ය අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා සිය පරිකල්පනය මෙහෙයවීමට, හැකියාවන් ගවේෂණය කිරීමට සහ නව සොයාගැනීම් සිදුකිරීමට හැකිවන ආකාරයට ඔවුන් සවිබල ගැන්වීමට අප කටයුතු කරන ආකාරය සම්බන්ධ මනා උදාහරණයක්. එමෙන්ම මේ ඔස්සේ Microsoft වෙතින් පුහුණු හා උපදේශන අවස්ථා රැසක්ද හිමිවන නිසා එය ඔවුන්ට සිය අනාගත වෘත්තීය ජීවිතය සාර්ථක කරගැනීමටද මහඟු පිටිවහලක්ද වනවා. මේ සියල්ල ඔවුන්ට අනාගතය ජයගැනීම සඳහා නව මාවත් රැසක් විවර කරදෙනු ඇත.”
දශක දෙකකට පෙර මෙම තරගය ආරම්භ කළ අවස්ථාවේ සිට, රටවල් 163 ක ශිෂ්‍ය ශිෂ්‍යාවන් මිලියන 2 කට අධික සංඛ්‍යාවක් Microsoft තාක්ෂණයන් භාවිතා කරන සුවිශේෂී ව්‍යාපෘති රාශියක් මේ සඳහා ඉදිරිපත් කර තිබේ. මෙම වසරේ ජයග්‍රහණය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට, ව්‍යවසායකයෙකු වන්නේ කෙසේද යන්න පිළිබඳ අවබෝධයක් ලබාගැනීම සඳහා Microsoft for Startups Founders Hub වැඩසටහනට අයදුම් කිරීමට අවස්ථාව ලැබෙනු ඇත.
මෙම වසරේ තරගයේ ආරම්භය ප්‍රකාශයට පත්කිරීමේ උත්සවයට, පසුගිය වසරේ තරගයේ දෙවැනි ස්ථානය දිනාගත් ‘නැණ ශිල්ප’ කණ්ඩායමේ සාමාජික සාමාජිකාවන් සහභාගී වූ සංවාදයක්ද ඇතුළත් විය. එම කණ්ඩායමට එම ජයග්‍රහණය හිමි වූයේ දේශීය භාෂා භාවිතා කරමින් ප්‍රාථමික පාසල් සිසුන්ගේ dyscalculia සහ dysgraphia ඉගෙනුම් දුෂ්කරතා හඳුනාගෙන ඒවා නිවැරදි කිරීමට උපකාරී වන ජංගම යෙදුමක් නිර්මාණය කිරීම වෙනුවෙනි.
“Microsoft Imagine Cup යනු අග්නිදිග ආසියාවේ New Markets කාණ්ඩයේ රටවල සිසු සිසුවියන්ට ගෝලීය මට්ටමේ තරගයකට සහභාගී වීමට ලැබෙන අගනා අවස්ථාවක්. පසුගිය වසරේ නැණ ශිල්ප කණ්ඩායම හිමිකරගත් සුවිශේෂී ජයග්‍රහණය, ශ්‍රී ලංකාව නව්‍යකරණයේ කේන්ද්‍රස්ථානයක් ලෙස ලොවට හඳුන්වා දීමට උපකාරී වූ අතර, එය ජාත්‍යන්තර තලයේ දක්ෂයන් සමග තරග වැදීමේ හැකියාව සහිත සිසුන් මෙරට සිටින බව සනාථ කරන සාධකයක්ද වුණා. එම ජයග්‍රහණය, තරුණ පරපුරට තම ව්‍යවසායකත්ව හැකියාවන් වැඩිදියුණු කරගැනීමට අගනා පෙළඹවීමක් වූ බව පැහැදිලියි. මේ වසරේදීත් ඔවුන් තම හැකියාවන් ලොවට පෙන්වනු ඇති බවට සැකයක් නැහැ.” Microsoft Sri Lanka & Maldives ප්‍රධාන දේශීය කළමනාකරු හර්ෂ රන්දෙණි මහතා පැවසී ය.
Southeast Asia New Markets කලාපීය තරගාවලියේ ජයග්‍රහණය ලබාගන්නා කණ්ඩායම් 4 කට 2023 වසරේදී පැවැත්වෙන ලෝක මට්ටමේ තරගයේ අවසන් වටයට පිවිසීම සඳහා අවස්ථාව ලැබේ. ලෝක ශූරතාව ජයගන්නා කණ්ඩායමට ඇමරිකානු ඩොලර් 100,000 ක ත්‍යාග මුදලක් හිමිවන අතර, Microsoft ප්‍රධාන විධායක නිලධාරී Satya Nadella සමග විශේෂ මගපෙන්වීම් සැසියකට සහභාගී වීමටද අවස්ථාව හිමිවනු ඇත.
2023 ජනවාරි 20 දින හෝ ඊට පෙර imaginecup.microsoft.com/SEANM වෙත පිවිසීමෙන් 2023 Imagine Cup තරගාවලියේ Southeast Asia New Markets කාණ්ඩය සඳහා ලියාපදිංචි විය හැක.